Sunday 9th of November 2025

English Tamil
Advertiesment


ඉතිහාසය කාගේද..? 


2025-09-13 1298

 

(තිසරණී ගුණසේකර)


බර්ටෝල්ඩ් බ්‍රෙෂ්ට් මහා කවියාගේ Questions from a worker who reads (කියවන කම්කරුවකුගේ ප්‍රශ්න) නම් කවිය ඉතිහාසයේ සාම්ප්‍රදායික දෘෂ්ටිකෝණය ප්‍රශ්න කිරීමක් ලෙස සැලකේ. ඇලෙක්සැන්ඩර් ඉන්දියාව ජයගත්තෙ තනිවමද? බයිසන්තියානු පුරවරයේ සියලු වැසියන් ජීවත් වුණේ මාලිගාවලද? චීන මහා ප්‍රාකාරය නිමාවූ පසු මේසන්වරුන් ගියේ කොහිද? ඉතිහාසයේ ජයග්‍රාහකයන් ජය සමරන උත්සවවල කෑම ඉව්වේ කවුද? මේ බ්‍රෙෂ්ට්ගේ කම්කරුවා මතු කරන ප්‍රශ්න කිහිපයකි. සාම්ප්‍රදායික ඉතිහාසය රජුන්, නායකයන්ගේ දෘෂ්ටිකෝණය නිර්මාණය වූ වෘත්තයන් වීම බ්‍රෙෂ්ට්ගේ කියවන කම්කරුවා අභියෝගයට ලක් කරයි.

ඇමරිකානු ඉතිහාසඥයකු හා දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු වන හාවර්ඩ් සින් (Howard Zinn) ගේ A People’s History of the United States පොත කියවීමට බ්‍රෙෂ්ට්ගේ කියවන කම්කරුවාට හැකි වූවා නම් තමන් මතු කළ ප්‍රශ්නවලට ඒ පොත තුළින් යම් පමණකින් පිළිතුරු සැපයෙන බව ඔහු සිතනු ඇත. කම්කරුවන්ගේ, කාන්තාවන්ගේ, අප්‍රිකානු ඇමරිකානුවන්ගේ, ස්වදේශීය ඇමරිකානුවන්ගේ ( Native – Americans), වැඩ කරන දුප්පතුන්ගේ හා සංක්‍රමණික කම්කරුවන්ගේ දෘෂ්ටි කෝණයෙන් ඇමෙරිකානු ඉතිහාසය යළි කියවීමට දැරුණු උත්සාහයක් ලෙස මෙම පොත හැඳින්වේ. ප්‍රශංසාවට මෙන්ම විවේචනයටද පාත්‍ර වූ (හා වන) මෙම පොත අදටත් ජනප්‍රිය වන අතර, බොහෝ ඇමරිකානු පාසල්වල කියවීම සඳහා නිර්දේශිත ග්‍රන්ථයකි.  ඇමරිකානු ඉතිහාසයේ අත්‍යවශ්‍ය යළි කියවීමක් ලෙස සැලකෙන මෙම පොත ඇමරිකානු විරෝධී හා දේශද්‍රෝහී ග්‍රන්ථයක් ලෙස ඇතැම් දක්ෂිණාංශික පිරිස්වල දැඩි විරෝධයට ලක් වේ.

 
ගලක කෙටූ අකුරු නොවේ

 

ඉතිහාසය යනු ගලේ කෙටූ අකුරු නොවේ. එය දෘෂ්ටිකෝණයන් අනුව පමණක් නොව පුරාවිද්‍යාත්මක හා අතීතය පිළිබඳ නව සොයා ගැනීම් අනුව වෙනස් වන ක්ෂේත්‍රයකි. ලොව බොහෝ රටවල ඉතිහාසය අතිශයින්ම විවාදාත්මක මාතෘකාවක් වන්නේ එබැවිනි.

ලංකාවේදී ද මේ දිනවල ඉතිහාසය අතිශයින්ම විවාදාත්මක මාතෘකාවක් බවට පත්ව ඇත. වත්මන් ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනාවලට අනුව, වසර 11 දක්වා ඉතිහාසය ඉගෙනීම අනිවාර්ය වුවද සාමාන්‍ය පෙළ විභාගයට ඉතිහාසය අනිවාර්ය විෂයක් නොවේ. මෙම යෝජිත වෙනස පිළිබඳව සිදුවන කතාබහ තුළ දැනට ළමුන්ට උගන්වන්නේ කවර නම් ඉතිහාසයක්ද යන කාරණයට ලැබී ඇත්තේ ඉතාමත් අඩු අවධානයකි.

දැනට භාවිත වන ඉතිහාස පෙළ පොත දෙස බලන විට පෙනී යනුයේ ඒවාත් මීට දශක පහකට පමණ පෙර, පාසලේදී මා උගත් ලංකා ඉතිහාසයත් අතර එතරම් වෙනසක් නොමැති බවය. එදා මෙන්ම අදත් ලංකාවේ පුරාතන ඉතිහාසයේ ප්‍රධාන මූලාශ්‍රය මහාවංශයයි.   උදාහරණයක් ලෙස එදා මා උගත් විජය – කුවේණි කතාව හා වත්මන් පෙළ පොතේ ඇති විජය කුවේණි කතාව අතර විශාල වෙනසක් නැත. මෙම කතාව සනාථ කරන පුරාවිද්‍යාත්මක සාක්ෂි ඉන්දියාවෙන් හෝ ලංකාවෙන් ලැබුණු හෝ නොලැබුණු බවක් එදා මෙන්ම අද පෙළපොත් වල ද සඳහන් නොවෙයි. මෙම කතාවට පාදක වූ මහාවංශය ලියැවුණේ විජය පැමිණියා යැයි විශ්වාස කෙරෙන 544 BCE සිට වසර 1000ක් පමණ පසුව බවටද (5CE) සටහනක් නොමැත.

අද උගන්වන ඉතිහාසයේ ස්වභාවය පිළිබඳ වටහා ගැනීමට හොඳම උදාහරණයක් වනුයේ 11 ශ්‍රේණියේ ඉතිහාස පෙළ පොතේ නිදහසින් පසු ලංකාව පිළිබඳ කොටසයි. මෙම කොටසේ ප්‍රධාන තැනක් හිමිවනුයේ 1956 මැතිවරණය හා සමාජ පෙරළිය යන උප මාතෘකාවටය. එහි ‘සිංහල පමණයි’  පිළිවෙත හා එහි ප්‍රතිඵලයක් ලෙස ඇති වූ අර්බුද හා ගැටුම් පිළිබඳ ඉතිහාසය ලියනුයේ මෙලෙස ය.

“1956 මැතිවරණ වේදිකාවේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්වූයේ සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීමේ ප්‍රතිපත්තියයි. නිදහසෙන් පසුව වුවද ඉංග්‍රීසි භාෂාවට විශේෂ තැනක් ලැබීම නිසා ස්වභාෂා උගත්තු බොහෝ ගැටලුවලට මුහුණ දුන්හ. මේ නිසා මහජන එක්සත් පෙරමුණ වටා එකතු වූ බලවේග මැතිවරණයට පෙර සිටම සිංහල භාෂාව රාජ්‍ය භාෂාව විය යුතු යැයි ප්‍රතිපත්තියක් වශයෙන් පිළිගෙන තිබුණි. එක්සත් ජාතික පක්ෂයද මැතිවරණය ආසන්නයේ දී එම ප්‍රතිපත්තියට එකඟ විය.” (අවධාරණය මගේ)

මෙම ‘ඉතිහාසයට’ අනුව ලංකාවේ ඇත්තේ එකම ස්වභාෂාවකි. එනම් සිංහලය. මන්ද ඉංග්‍රීසියෙන් ගැටලු වලට මුහුණ දුන් ස්වභාෂා උගතුන් ඉල්ලා සිටියේ සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීමට ය. ඔවුන් බණ්ඩාරනායක මහතා හා මහජන එක්සත් පෙරමුණ වටා එක් වූයේ ඒ වෙනුවෙනි. ලංකාවේ ස්වභාෂා උගතුන්ගේ ස්වභාෂාව සිංහල නම් එයින් ගම්‍ය වනුයේ ලංකාවේ එකම ස්වභාෂාව සිංහල පමණක් බවත්, දෙමළ බස (ඉංග්‍රීසිය මෙන්ම) ස්ව – නොවන එනම් පෙර භාෂාවක් බවත් නොවේද? මේ තවමත් මෙරට ළමුන්ට උගන්වන ඉතිහාසයයි.

මෙම ඉතිහාස පෙළ පොතේ සිංහල – දෙමළ භාෂා දෙකටම සම තැන දෙන ලෙස වූ ඉල්ලීම පිළිබඳ වචනයක් හෝ නොමැත. එදා එජාපය සිංහල පමණයි ඉල්ලීමට පසුව අනුගත වූ බව සඳහන් කළ ද එසේ අනුගත වූයේ සිංහල – දෙමළ භාෂා දෙකටම සම තැන දීමේ ඩී.එස් සේනානායක පිළිවෙත් අත්නොහරමින් බවද  මෙහි නොකියැවේ. සිංහල පමණයි පිළිවෙතට උතුරෙන් මෙන්ම දකුණේ වාමාංශික හා ලිබරල් පිරිස්වලිනුත් වූ විරෝධය ගැන සඳහනක් මෙහි නොමැත. 1958 ගැටුම, බණ්ඩාරනායක – චෙල්වනායගම් ගිවිසුම ගැන කිසිත් ද මෙම ඉතිහාසයට අයත් නැත.

 
සිංහල පමණයි

 

අදත් ලංකාවේ සිසුන්ට උගන්වන ඉතිහාසය අනුව දෙමළ භාෂා ප්‍රශ්නයක් හටගෙන නොමැත. සිංහල  පමණයි නිසා වූ දෙමළ සිත් රිදීම මෙන්ම සිංහල දෙමළ දුරස්ථ වීම මෙම ඉතිහාසයට අයත් නොවේ. එදත් අදත් මෙරටට විදෙස් ධනය උපයන දෙමළ වතු කම්කරු ජනතාව තමන් උපන් බිමේම ආගන්තුකයන්,විදේශිකයන් බවට පත්කළ 1948 පුරවැසි පනත ද මෙම ඉතිහාසයට අයත් නොවේ.

අද සිංහල හා දෙමළ දෙකම රාජ්‍ය භාෂාවෙන් ය. ඉංග්‍රීසි ඉගෙන ගැනීමේ අවශ්‍යතාව පක්ෂ විපක්ෂ දේශපාලකයන් මෙන්ම ජනතාව ද පිළිගනී. 1956 දි සිංහල පමණක් පිළිවෙතින් ජාතික සමගියට මෙන්ම අධ්‍යාපනයටද හානියක් වූ බව නොපිළිගත්තේ අන්ත සිංහල බෞද්ධ අධිපතිවාදීන් අතලොස්සක් පමණි. නමුත් 11 ශ්‍රේණියේ ඉතිහාසය පෙළ පොතේ ආඩංගු  1956 පරිවර්තනයක් පිළිබඳ ඉතිහාසය ලියා ඇත්තේ මෙම අධිපතිවාදී දෘෂ්ටිකෝණයෙනි; එයින් නියෝජනය වනුයේ මෙම අධිපතිවාදී මතයයි. ඉතිහාසය උසස් පෙළ විභාගයට අනිවාර්ය කළ යුතු බවට වන කතාබහ තරමටම ඉගැන්විය යුත්තේ කවර ඉතිහාසයක්ද යන්නටද අවධානය යොමු විය යුතු නොවේද?

 
වික්ටෝරියා රැජිණගේ විවාහය

 

1840 වසරේදී එවකට 20 හැවිරිදි බ්‍රිතාන්‍යයේ වික්ටෝරියා රැජිණ විවාහ වූවාය. තම මංගල ඇඳුම තෝරාගැනීමේදී වික්ටෝරියා තීරණය ගත්තේ මනාලියක නොව අධිරාජණියක ලෙසය. තම මංගල ඇඳුම තුළින් බ්‍රිතාන්‍යයේ ලේස් කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට ඇය තීරණය කළා ය. ඇගේ මංගල ඇඳුම මුළුමනින්ම හැඩ ගැන්වුණේ බ්‍රිතාන්‍යයේ ඩෙවෝන් ප්‍රදේශයේ හොනිටෝන් ලේස් (Honiton lace) වලිනි.

හොනිටන් ලේස්වල වර්ණය සුදු විය. ඊට ගැලපෙන ලෙස ඇගේ මඟුල් ඇඳුමද සුදු විය. මනාලියන් සුදු අඳින සම්ප්‍රදාය බ්‍රිතාන්‍යයේ බිහි වූයේ එසේ ය. පසුව මෙම සම්ප්‍රදාය බ්‍රිතාන්‍ය යටත් විජිතවලටත්, ලොව පුරාමත් පැතිරිණි.

උඩරට නිලමේ ඇඳුම හැඳින්වනුයේ මුල් ඇඳුම යනුවෙනි. නමුත් මෙය පෘතුගීසි හා ලන්දේසි ආභාෂයෙන් බිහි වූවක් බව 16 හා 17 සියවස්වල යුරෝපියානු විලාසිතා අධ්‍යයනය කිරීමෙන් පැහැදිලි වේ. කන්ද උඩරට රාජධානියේ පළමු වන විමලධර්මසූරිය රජු, රාජ්‍යත්වයට පෙර පෘතුගීසින් සෙවනේ විසූ නිසා ඔවුන්ගේ ආභාෂය ඔහුට ලැබුණු බව පැහැදිලි ය. කතෝලිකයකු ලෙස භෞතිස්ම ලැබ නම පවා වෙනස් කළා යැයි කියවෙන ඔහු පෘතුගීසි විලාසිතා වැළඳ ගැනීමත් එයින් ඇතැම් ඒවා කන්ද උඩරටට හඳුන්වාදීමත් සිදුවන්නට ඇත.

ඉතිහාසය මෙන්ම සංස්කෘතියද සදා නොවෙනස් වන දෙයක් නොවේ  විශේෂයෙන්ම දූපතක් වූ අප මෙරටට පැමිණි සියලු ජනවාර්ගික හා ආගමික පිරිස්වලින් යමක් ඉගෙන එය අපේම කරගත්තා නිසැකය. ඕනෑම රටක සංස්කෘතියක් පුළුල් වනුයේ, විකාශනය වනුයේ මෙලෙසය. ලංකාවේ රණවරා, බෙලිමල් වැනි පානයන් අතහැර තේ අපේ ජාතික හා ජනප්‍රියම පානය හා අපේ සංස්කෘතික හා සමාජ අනන්‍යතාවය තීරණාත්මක අංගයක් බවට පත්කිරීම මෙයට හොඳම උදාහරණයකි. බ්‍රිතාන්‍ය පාලකයන් තේ බොන්නැයි නීති පැනවූයේ හෝ බලහත්කාරකම් කළේ හෝ නැත. පාලකයන්ගේ සිරිත් විරිත් සමාජයට කාන්දු වීම “තේ පුරුද්දට හා සම්ප්‍රදායට” හේතු විය. (වංචාව හා දූෂණය රාජපක්ෂ පාලනය යටතේ සාමාන්‍යකරණය වූයේද මේ අයුරිනි).

මේ පරිවර්තනයන් පිළිබඳ කදිම සංවාදයක් සමරවීර විජයසිංහ සූරීන්ගේ ස්වර්ණ පුස්තක සම්මානයේ දින දින ස්වයංජාත නවකතාවේ දැක්වේ.   කතාවේ ප්‍රධාන චරිතයක් වූ මන්ද්‍රි එක් අවස්ථාවකදී මෙසේ කියයි. “අපට හොඳ ඉතිහාසයක්, ආගමක්, භාෂාවක්, සංස්කෘතියක් තියෙනවා. ඔය නගරෙ  අය වගේ සංකර වෙන්න ඕනෑකමක් අපට නැහැ.” එයට ප්‍රතිචාර දක්වමින් ඇගේ හිතවතෙකු වූ සුමින්ද මෙසේ කියයි. “….. මේ සංකර වෙන කතාව මහ මෝඩ කතාවක්. මේ කතාවට අපේ ආනන්ද අයිය නම් හිනාවෙනවා… එයා කියන්නේ සංකර වෙන එක නවත්තන්න බැහැ කියලයි. නාගරික මිනිස්සු ඉක්මනට සංකර දෙනවා. පිටිසර අය හෙමින් හෙමින් සංකර වෙනවා. අයියා කියන්නේ සිංහලයෝ සංකර වෙන්න පටන් ගන්නේ දහ වැනි සියවසේ චෝල ආක්‍රමණයෙන් පස්සෙ කියලයි… ඒ කාලෙ සුද්දෝ නොහිටියට හින්දු බමුණෝ හිටියා. දැන් බටහිර සිරිත් විරිත් පැතිරෙනවා වගේ ඒ කාලේ බමුණු සංස්කෘතිය පැතිරුණා…”

 
විදෙස් භීතිකාව

 

විදෙස් භීතිකාවෙන් පෙළෙන්නෝ මෙම වෙනස් වීම් පිළි නොගනිති. ඔවුන් සිතනුයේ ඉතිහාසය, ආගම, භාෂාව හා සංස්කෘතිය නොවෙනස් වන නොවෙනස් විය යුතු දේ ලෙසය. අද අප අදහනුයේ බුදුන් දෙසූ, මිහිඳු හිමියන් මෙරටට ගෙනා ධර්මයද? එසේ නම් ලංකාවේ සංඝ ශාසනය කුල පදනමින් නිකාය ලෙස බෙදී තිබෙනුයේ කෙසේද? බුදුන් වහන්සේ සඟ සසුනෙන් බැහැර කළ කුලය, ලාංකීය සඟ සසුනේ තීරක සාධකයක් බවට පත් කළේ කන්ද උඩරට රජ කළ කීර්ති ශ්‍රී රාජසිංහයි. ඒ 18 වන සියවසේ ය. බුදු බණ පරයා රජ අණ නැගී සිටියේය. අදත් එය එසේමය. සියම් නිකායට අයත් නොවන ( එනම් ගොවිගම නොවන) භික්‍ෂුවකට දළදා තේවාවට ඉඩ තිබේද? ලංකාවේ බුද්ධාගම සියවස් ගණනාවක් පුරා කෙතරම් නම් වෙනස් වීද යන්න වටහා ගැනීමට මේ ප්‍රශ්නය ප්‍රමාණවත්ය.

මැල්කම් රංජිත් කාඩිනල්තුමා මෑතකදී සමලිංගික විවාහයන් පිළිබඳව දැඩි විවේචනයක් කළේය. සමලිංගික – විරෝධය අපට ලැබුණේ යුරෝපීයයන්ගෙන් බවත්, සමලිංගික සේවනය මෙරට අපරාධ වරදක් බවට පත් කළේ බ්‍රිතාන්‍ය පාලකයන් බවත් බොහෝ දෙනා නොදනිති. ඒ සම්ප්‍රදාය අපට ලැබුණේ බුදු දහමින් නොව, කතෝලික හා ප්‍රොතෙස්තන්ත පල්ලි වලිනි. අද එය සිංහල බෞද්ධ හරයකි. නොවෙනස් වන ඉතිහාසය මෙන්ම නොවෙනස් වන භාෂාව, ආගම හා සංස්කෘතිය හුදු මිථ්‍යාවන්ය.

11 ශ්‍රේණියේ ඉතිහාසයේ පෙළ පොතේ එක් චින්තනමය පදනමක් වනුයේ ස්වභාවික හා ස්වයංවම වෙනස් නොවන සංස්කෘතියක් පිළිබඳ මිත්‍යාව යි. අනෙක නම් දේශීය සංස්කෘතිය හා සිංහල බෞද්ධ සංස්කෘතිය එකක් ලෙස සැලකීමයි.

“පිරිවෙන් හා බෞද්ධ පාසල් ආරම්භ වීම නිසා දේශීය සංස්කෘතිය අගය කරන සමයමාමක තරුණ පරම්පරාවක් බිහිවිය. එම තරුණ පිරිස් අතර දේශීය සංස්කෘතියේ උසස්කම හුවා දැක්වූ නව සමාජ සූදාරකයන් පිරිසක් හා ජාතික ලේඛක පරපුරක් දක්නට ලැබුණි. මේ පිරිසට අයත් අනගාරික ධර්මපාලතුමා, වලිසිංහ හරිශ්චන්ද්‍රතුම, පියදාස සිරිසේන මහතා හා ජෝන්ද සිල්වා වැනි නායකයෝ විවිධ මාධ්‍ය ප්‍රයෝජනයට ගනිමින් දේශීය ජනතාව තුළ දේශානුරාගය හා ජාත්‍යාලය වර්ධනය කිරීමට ක්‍රියා කළහ. එම නිසා 20 වන සියවස ඇරඹෙන විට බෞද්ධ පුනරුද ව්‍යාපාරය තුළින් ස්වදේශිකයන් තුළ දේශානුරාගය දැනවීමේ ව්‍යාපාරයක්, බෞද්ධ පූජනීය ස්ථාන රැක ගැනීමේ ව්‍යාපාරයක් හා අමාද්‍යප ව්‍යාපාරයක් ඇරඹිණි.” (අවධාරණය මගේ)

දැනට 11 වන ශ්‍රේණියේ ළමුන්ට උගන්වන ඔවුන් ඉගෙන ගන්නා ඉතිහාසයට අනුව දේශීය සංස්කෘතිය යනු සිංහල බෞද්ධ සංස්කෘතියයි. ජාතික ලේඛකයන් යනු සිංහල ලේඛකයන්ය. දේශීය ජනතාව යනු සිංහල බෞද්ධ ජනතාවයි. දේශානු රාගයයනු සිංහල බෞද්ධ ලංකාවකට ඇති ආලයයි.  ජාත්‍යාලය යනු සිංහල බෞද්ධ ජාතියට ඇති ආලයයි. ස්වදේශිකයන් යනු සිංහල බෞද්ධ ජනතාවයි. මෙවන් මතවාදීමය දෘෂ්ටි කෝණයක් සහිත ඉතිහාසයක්, සිංහල පමණයි පිළිවෙත ජයග්‍රහණයක් ලෙස හුවා දැක්වීම පුදුමයක්ද? දෙමළ ජනතාවගේ විරෝධය මෙන්ම එම විරෝධයට ලැබුණු ප්‍රචණ්ඩ ප්‍රතිචාරය ඉතිහාසයෙන් මකා දැමීම පුදුමයක්ද? වතු දෙමළ ජනතාවගේ පුරවැසිකම අහිමි කිරීම ඉතිහාසයෙන් ඉවත් කිරීම පුදුමයක්ද? මේවා අත වැරදි නොව ඉතිහාසය දකින, ඉතිහාසය ලියන අගතිගාමී දෘෂ්ටිකෝණයේ අනිවාර්ය ප්‍රතිඵලයන් ය.

 
ලාංකිකත්වයක් නැති ඉතිහාසයක්

 

ගාසා තීරය තමන් ගෙන යන පලස්තීන ජන ඝාතක යුද්ධය 2023 ඔක්තෝම්බර් 7 වෙනිදා හමාස් සංවිධානයේ එල්ල කළ ම්ලේච්ඡ ප්‍රහාරයට ප්‍රතිචාරයක් පමණක් බවට පෙන්වන්නට ඊශ්‍රායලය උත්සාහ කරයි. නමුත් මෙම ජන සංහාරය 1948 ඊශ්‍රායල් හමුදාව විසින් 750,000 කට අධික පලස්තීන ජනතාවක් තම ගෙවල් හා ගම්බිම්වලින් ප්‍රචණ්ඩකාරී ලෙස පලවා හැරීමෙන් ඇරඹී මහා ඊශ්‍රායලයක් බිහි කිරීමේ ව්‍යාපෘතියේ නවතම පියවරක් පමණි.

තමන් උපන් බිම්වලින් තමන් පලවා හැරීම පලස්තීන ඉතිහාසයට එක්ව ඇත්තේ නක්බා (Nakba) යන නමිනි.  එහි තේරුම විනාශය යන්නයි. පලස්තීන ජනතාව කැමැත්තෙන් තම ගම්බිම් අත්හැර සරණාගත කඳවුරු වලට නොගිය බවත්, ස්ත්‍රී දූෂණය හා කාන්තාවන් හා ළමුන් ඝාතනය කිරීම වැනි යුද්ධ අපරාධ සිදු කරමින් ඊශ්‍රායල් හමුදාව පලස්තීන ජාතිකයන් තම උපන් බිමෙන් පන්නා දැමූ බවත් ප්‍රකට ඊශ්‍රායල් ඉතිහාසඥයෙකු වූ බෙනී මොරිස් 2002 ජනවාරි 8 වෙනිදා ඊශ්‍රායලයේ හාරෙට්ස් (Ha’aretz) පුවත්පත සමග පැවති සම්මුඛ සාකච්ඡාවක දී කියා සිටියේ ය. (ඔහු මෙම පලවා හැරීම අනුමත කරයි).

නමුත් ඊශ්‍රායලයේ යුදෙව් ළමුන් ඉගෙන ගනුයේ, ඔවුන්ට උගන්වනුයේ මේ අවලස්සන ඇත්ත නොවේ. පලස්තීනය යනු ජන ශූන්‍ය කාන්තාරයක් බවය. එහි සිටි අරාබිවරුන් උදාසීන, නොදියුණු, අව මිනිසුන් (Sub – humans) බවය. වත්මන් ඊශ්‍රායලය පමණක් නොව බටහිර ඉවුර, ගාසා තීරය හා ජෝර්දානයත්, ලෙබනනයේ ඊජිප්තුවේ හා සිරියාවේ කොටසුත් දෙවියන් වහන්සේ විසින් යුදෙව් ජාතිකයන්ට දුන් භූමිය බවය. මෙම භූමියේ මහා ඊශ්‍රායලයක් බිහි කිරීම දේව කැමැත්ත බවය.

1953 ඊශ්‍රායල් හමුදාවේ 101 ඒකකය (පසු කලෙක ඊශ්‍රායල් අගමැතිවරයා වූ ඒරිල් ෂෙරොන්ගේ නායකත්වය යටතේ) කිබ්යා  (Qibya) නම් පලස්තීන ගමට කඩා වැදි සිවිල් වැසියන් 69කට  අධික පිරිසක් ඝාතනය කළහ. මෙයින් තුනෙන් දෙකක් පමණ කාන්තාවෝ හා ළමුන් වූහ.

මෙම ක්‍රෑර සංහාරය ලොව පුරා රටවල හා ජනතාවන්ගේ මෙන්ම මානවවාදී ඊශ්‍රායල් යුදෙව්වන්ගේද දැඩි විවේචනයට ලක් විය. සුප්‍රකට ඊශ්‍රායල් යුදෙව් දර්ශනවාදියෙකු වූ යෙෂායු ලයිබොවිට්ස් (Yeshayahu Leibowits) මේ අතර ප්‍රමුඛ විය. මෙවන් සාහසික අපරාධයක් සිදුකිරීමට මැලි නොවන තරුණයන් පිරිසක් නිර්මාණය වූයේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කළේය. මේ අපරාධයට පදනම් වූ මානසිකත්වය ඔහු හැඳින්වූයේ යුදෙව් නට්සිවාදය (Judev – Nazism) ලෙස ය. (Judaism, human values and the Jewish State) මේ ප්‍රශ්නයට එක් පිළිතුරක් නම්, යුදෙව් වාර්ගික – ආගමික අධිපතිවාදී දෘෂ්ටිකෝණයකින් ලියවුණු ඉතිහාසයක් බවය.

 
ශ්‍රී ලංකාවේ අපි

 

ලංකාවේ අපිද 25 වසරක යුද්ධයක් අත් දුටුවෙමු. වේළුපිල්ලේ ප්‍රභාකරන් හෝ කොටි සංවිධානය ඉබේ පහළ වූයේ  නැත. ඊලාම් යුද්ධයට මෙන්ම ඉල්ලීමට ඉතිහාසයක් විය. 1956 සිංහල පමණයි පනත මෙම ඉතිහාසයේ තීරණාත්මක කඩඉමකි.

නමුත් දැනට 11 ශ්‍රේණියේ උගන්වන ඉතිහාසය තුළ මේ ඉතිහාසයේ අඩංගු නැත. 1956 ගැන ඉතිහාසය පෙළ පොත කියන්නේ මෙවන් කතාවකි. “නිදහසෙන් පසුව අඛණ්ඩව බලයේ සිටි එක්සත් ජාතික පක්ෂය පරදවා 1956 වර්ෂයේදී එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතා යටතේ අලුත් ආණ්ඩුවක් බලයට පත් විය. නව බලවේග රැසක් බණ්ඩාරනායක මහතා වටා ඒකරාශී වී තිබීමත්, දේශීය භාෂාව, ආගම හා සංස්කෘතිය අගය කළ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමත් එතෙක් නොවිසඳුණු සමාජ ආර්ථික ගැටලු රැසකට විසඳුම් දීමට ප්‍රයත්න දැරීමත් වැනි හේතු නිසා එම  රජය යටතේ සමාජ පෙරළියක් සිදුවිණැයි මතයක් තිබේ. එතුමාගේ පාලන කාලයේදී දේශීයත්වය අගය කළ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමත්, එතෙක් නොවිසදුනු පොදු ජන ගැටලු කෙරෙහි අවධානය යොමු කිරීමත් කැපී පෙනෙන ලක්ෂණයකි” (අවධාරණය මගේ)

බණ්ඩාරනායක අගමැතිවරයාගේ පාලන කාලය තුළ සිංහල භාෂාව, බෞද්ධ ආගම හා සිංහල බෞද්ධ සංස්කෘතිය අගය කළ ප්‍රතිපත්තියක් අනුගමනය කළ බව, සිංහල – බෞද්ධත්වය අගය කළ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළ බව කීවා නම් එහි වරදක් නොමැත. මන්ද එය තරමක් දුරට හෝ සත්‍ය වන හෙයිනි. නමුත් 11 වන ශ්‍රේණියට උගන්වන ඉතිහාසය, දේශීය හා සිංහල/ සිංහල – බෞද්ධ සමාන පද ලෙස සලකයි. වසර කිහිපයකින් ඡන්ද හිමි පුරවැසියන් බවට පත්වන 11 ශ්‍රේණියේ ළමුන්ට උගන්වන ඉතිහාසයට අනුව එකම දේශීය භාෂාව සිංහලයි. එකම දේශීය ආගම බුද්ධාගමයි. එකම දේශීය සංස්කෘතිය සිංහල බෞද්ධ සංස්කෘතියයි. මේ ඉතිහාසය අයත් වනුයේ හා ප්‍රවර්ධනය කරනුයේ සිංහල බෞද්ධ දේශයක් විනා මෙරට උපන්  සියල්ලන්ටම සමාන හිමිකමක් ඇති ලංකාවක් නොවේ.

 
ඉතිහාසය උගත යුතුය

 

ඉතිහාසය ඉගැන්විය යුතුය: ඉතිහාසය උගත යුතුය. නමුත් ඊට කලින් ඇසිය යුතු ප්‍රශ්නයක් ඇත: එනම් ඉගැන්විය යුත්තේ, උගත යුත්තේ කාගේ කවර ඉතිහාසයක්ද යන්නයි. මෙම පෙළපොත මුලින්ම මුද්‍රණය කර ඇත්තේ 2015 දීය. එහි පෙරවදන ලියා ඇත්තේ සිරිසේන – වික්‍රමසිංහ ආණ්ඩුවේ අධ්‍යාපන ඇමති වු අකිල විරාජකාරියවසම් මහතාය. නමුත් මෙම පොතේ අන්තර්ගතය සකස් වූයේ රාජපක්ෂ පාලන සමයේද යන ප්‍රශ්නය පැන නගිනුයේ එහි අඩංගු ඉතිහාසය රාජපක්ෂ දෘෂ්ටි කෝණයට ගැලපෙන, රාජපක්ෂ ව්‍යාපෘතියට ආධාර වන ඉතිහාසයක් වන බැවිනි.

ඉතිහාසයේ  අනාගතය ගැන බොහෝ වාද විවාද වන වත්මනේ, අධ්‍යාපන ඇමතිනි හරිනි අමරසූරිය මහත්මිය ඉතිහාස පෙළපොත් කියෙව්වාදයි මම නොදනිමි. ඇය අගමැති ධුරය දරන ආණ්ඩුවත්, සජිත් ප්‍රේමදාස මහතාගේ සජබත්, රනිල් වික්‍රමසිංහ මහතාගේ එජාපයත් කියනුයේ තමන් පෙනී සිටිනුයේ ලාංකීය අනාගතයක් වෙනුවෙන් බවය. නමුත්, සිංහල බෞද්ධ අධිපතිවාදී දෘෂ්ටිකෝණයකින් ලියූ ඉතිහාසයක් විසින් පෝෂණය කෙරෙනුයේ සිංහල බෞද්ධ අනාගතයක් විනා ලාංකීය අනාගතයක් නොවේ.

11 ශ්‍රේණියේ පෙළ පොතේ හින්දු හා මුස්ලිම් පුනරුදය ගැන, දෙමළ මුස්ලිම් ජනතාව ගැන යම් සඳහනක් ඇත. නමුත් දේශීය යන පට්ටම මේ ජනතාවන්ට ඔවුන්ගේ භාෂාවට ආගමට හෝ සංස්කෘතියට නොලැබේ.  වත්මන් පාසල් ඉතිහාස පොතට අනුව, දේශීයත්වය මුළුමනින්ම සිංහල බෞද්ධයාගේ උරුමයකි. ඉතිහාසය සාමාන්‍ය පෙළ විභාගයට අනිවාර්ය කිරීම හෝ නොකිරීම පිළිබඳ තීරණයක් ගැනීමට පෙර, පාසල්වල උගන්වන්නේ කවර ඉතිහාසයක් ද යන්න තීරණය කළ යුතුය.

 
-MIDPOINT-

 

Advertiesment